2016/01/05

180) මැරෙන්න පෙර Pre-Mortem කර ගන්නේ

2016ත් උදා වුනා ලැබුවා වූ නව වසර සුව සතුට පිරි සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව ඔබ සැමට !


අළුත් අවුරද්දක් , තවමත් ලියැවෙන්නේ 2015 වුනත් ඇත්තටම 2016 , එක් වෙලාවකට හිතෙනවා කාළය හරිම ඉක්මන් දෝ කියලත් , පහුගිය වසර ගෙවුනේ “හරිම ඉක්මණට“ . ටොරොන්ටෝවේ ගත කළ කාළයට සමු දීලා සස්කචුවාන් පළාතට කිලෝමීටර් 3000ක් විතර දුර ගෙවාගෙන බඩු මුුට්ටුත් කද බැද ගෙන ආවේ හරියටම මීට අවුරුද්දකට ඉස්සර වෙලා , ඒ 2014  දෙසැම්බර් 25දා . අවුරුද්දකට පස්සේ වුනත් ඒ දවස මේ අද ඊයේ වගේ මතකයි.




ශීත සෘතුවේ මැද හරියේ , නරකම දවස් ටික , ඔන්ටාරියෝවේ උතුර ප්‍රදේශය හරහා එන්න සූදානම් වුනු මේ ගමනම මිතුරන් බොහොමයක් පොඩි විරුද්ධත්වයක් පෙන්නුවා,
නිල් පාටට තියෙන්නෙ අප ආ මග , ඒ පරිමාණයටම ගත්ත ලංකාවත් ඇමිනුවේ දුර ගැන දල අදහසක් ගන්නටයි

“මේ , මෙච්චර දුර ගමනක් ඩ්‍රයිව් කරන කාළයක්ද ? ටිකක් ඉඳළ සමර් එකේ මාරුවෙන්ට “

“ඩ්‍රයිව් කරන්න නම් එපා ,ඔය බඩු ටික  ට්‍රේන් එකට දාල ඔයාල ෆ්ලයි  කරන්න, ඒක ලාභයි ආරක්ෂාවයි“ 

“ඔය  මනෝජගේ ෆස්ට් වින්ටර් ඩ්‍රයිව්න් එක නේද ? අනෙක ඔයා ට්‍රක් එක ගෙනියත්දි මනෝජට වෙන්නේ වෑන් එකෙන් ඔයාව ෆලෝ කරන්න , මේ  හිම අස්සේ  , නෝර්ත් එකේ හයිවේ එක ඔය වැඩේට හරිම අනතරුදායකයි , යන්න නම් එපා “

හිතමිතුරන්ගේ උපදෙස් කාරුණිකව අසා සිටියත් , අපි දෙන්න එක්ක සැලසුම් කරගත් හැටියටම 2014 දෙසැම්බර් 22 දා උදෙ පාන්දර තුනට ටොරොන්ටෝවෙන් පිට වෙත්දි ,
“කී දේ නාහන ජෝඩුවක් , මොනවා වේද දෙයියෝ තමයි දන්නෙ “ කියාගෙන අප යන දිහා බලා හිටියා අද වගේ මතකයි .


ජීවිතේ සමහර වෙලාවට අපට ගන්න වෙන ඉතා සංකීර්ණ තීරණ වලදි ඒ එක්කම එන අවදානමකුත්  අපට භාර ගන්නට වෙනවා. ඒ අවදානම නිසා අත්‍යවශ්‍යම තීරණ නොගැනීමත් අවදානමක් . කෙසේ වෙතත් , මෙවන් අවදානම් තීරණ අපි හැමෝටම ගන්න වෙනව ජීවිතේ විවිධ අවස්ථාවල , උසස් පෙළට විෂයධාරාවන් තෝරා ගැනීම , විවාහය , වෙනත් පළාතක පදිංචියට යාම , පාසල් මාරු කිරීම , අළුත් ව්‍යාපාරයක් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම . ඔය වගේ නානා විධ තීරණාත්මක අවස්ථාවන්ට අපට මුහුණ  දෙන්නට වෙනවා. 

මේ හැම තීරණයකදිම අපේ අරමුණ , අපේක්ෂාව එම තීරණය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීම , ජය ගැනීම , දිනීම  වගේ ධනාත්මක අපේක්ෂාවන්.  නමුත් හැම විටම එය එසේම වේවිද ? යම් අවස්ථාවක අප නොසිතන ආකාරයේ “නරක ප්‍රතිපලයක්“ ලැබුණොත් .... අප එයට මුහුණ දෙන්නේ කෙසේද ? එයට මුහුණ දෙන්නට උපායන් , පිළිතුරු අප ළඟ ඇත්ද ? එසේ නොවුන හොත් ,

එසේ නොවුන හොත් ප්‍රතිපල වේදනාකාරී වෙන්නට ඉඩ වැඩියි  , අසමත් වීම , බිඳ වැටීම් , ආර්ථික පාඩු , වගේම සමහර කෙනෙක්ට ජිවිතයම වුනත් එපා කරවන්නට අවස්ථාවක් වේවි.

ඔන්න ඔය නිසාම වැදගත් තීරණයක් , විශේෂයෙන්ම ජිවිතේ වෙනසකට මුල්වන තීරණයක් ගන්නට පෙර “සිතා බැලීම“ අවශ්‍යමයි. ඕකම තමයි අපි ජන වහරේ කියන්නේ “පනින්න පෙර සිතා බලනු“කියලත් , නමුත් මේ සංකල්පයම ඊට ටිකක් සංකීර්ණ විස්තර කිරීමක් එක්ක , Gary Klein කියන පර්යේෂණ මනෝ විද්‍යාඥයා විසින් මනෝවිද්‍යාත්මකව නවතම සංකල්පයක් හදුන්වා දෙනවා. ඒ Pre Mortem method of risk assessment.  සරළ සිංහලෙන්ම කිව්වොත් , අවදානම් තක්සේරුව  පිළිබද පූර්ව මෘත ක්‍රමවේදය. අද මගේ  කතාවත් එක්ක ටිකක් විස්තර කරන්න හදන්නේ මෙන්න මේ Pre-Mortem method of risk assessment ක්‍රමය ගැන.

................................................................................



දිනය , 2014 දෙසැම්බර් 10  ,

“ලොකු අද ඉස්කෝලෙ ගියාම  යාළුවොත් එක්ක කතා කරල කීවට කමක් නැහැ අප මේ මාසේ අන්තිමට move වෙන බව , අනෙක් ගෙදර ආවම නංගි එක්ක එකතු වෙලා අපේ destination එක ගැන ටිකක් research  කරන්න ඕන , යන ගමන් බලන්න පුළුවන් දේවල්  , පාර්ක් , නවතින්න ලස්සන තැන් , ඒ විතරක් නෙවි අළුත් ඉස්කෝලේ , ඒකේ තියෙන extra programs ඔක්කොම ගැන හොයල මටත් කියල දෙන්න , හරිද ?...“
“ ඕ....කේ , අපි දෙන්නම ලස්සනට වැඩේ කරන්නම් , යන map එක ප්ලෑන් කරාද තාත්තා ?“
“ඔව් , ඒ ඔක්කොම ප්ලෑන් කරල ඉවරයි , අපට දවස් තුනක් විතර නවතින්න වේවි , බලමු“

දවස් කිහිපයක් ගෙවිලා ගියා ,ලොකු ප්‍රොජෙක්ට් එකක් වගේ තමා , මුළු ගෙදරම බඩු පොදි බැදල, ඇඳන් මේස , ගලවල , පොත් පත් ලේබල් කරලා , ඇඳුම් කැඩුම් මළු ගහල , ඔය වගේ නානා විධ කාරණා අතරේ බඩු මුට්ටු අරගෙන යන්න ඕන කරන රථ වාහන , නවතින තැන් වලට ගෙවීම් කරල , වෙන් කරගෙන , දන්නඅය හමුවෙලා සමුදීමේ හමු පවත්වල ......පොඩි යුද්ධයක් තමා.

දෙසැම්බර් 14 දා  ඉරිදාවක් ,
දැන් කට්ටියම සූදානම් , තව සතියකින් ටොරොන්ටෝවට සමු දෙන්න , ගෙදර පුරාම බඩු  තැන තැන . රෑ කැමෙන් පස්සේ පොඩි කතාවකට යොමු වුනා .

“හරි දැන් අපි ලබන විසි දෙවෙනිදා මෙහෙන් යන්න ඉන්නේ  , අපි මෙහෙම හිතමු , මේ සීතලත් එක්ක අපි ඔක්කොම ලෙඩ වුනා , දැන් මොකද කරන්නේ ? දැනටමත් අපි නවතින් නැත් බුක් කරලත් ඉවරයි නේ ? “

“ මොනාද මන්ද මේ කියන්නේ , ගමනක් යන්නත් තියාගෙන “ මනෝජගේ නෝක්කාඩු ස්වරය ,

“මෙහෙම කරමු , හුගක්ම අමාරු තත්ත්වයක් ආවොත් අපි කොල් කරල වාහනේයි , නවතින නැත්නවලටයි , ගමන postpone කර ගනිමු , නැත්නම් බෙහෙත් ඔක්කොම තියෙන නිසා බය නැතිව යමු , හෙල්ත් කාර්ඩ් එක අතේ තියෙනවනේ ,මොකද ජනවාරි මුල් සතියේ ඩියුටි රිපෝර් කළාම ඇති “ තවත් කතා කළා මේ ගැන .

“වාසනාවට ඔය දවස් ටිකේම ස්නෝ ස්ටෝර්ම් එකක් එනවා , ට්‍රාන්ස්කැනඩා හයිවේ එක වහනවා , දැන් අපේ ගමනට මොකද වෙන්නේ “
කට්ටිය එක්ක ගුගල් මැප් එකත් , තවත් මැප් වගයකුත් අරගෙන  කුටු කුටු ගානවා ,
“ නෑ තාත්ති මේ වෙදර් නෙට් එකේ සති දෙකේ ෆොර්කාස්ට් එකේ නම් එහෙම  කරදරයක් පෙන්වනනේ නැහැ , අනෙක ස්ටෝර්ම් එකක් එන්නේ අනෙක් පැත්තට , අපට බය වෙන්න දෙයක් නැහැ. නැත්නම් ට්‍රන්ස් කැනඩා හයිවේ එක මග හැරලා ඊට අඩින් තියෙන පාරේ යමු , අනෙක් හදිසියේ හරි එහෙම  වුනොත් , අප නවතින හොටෙල් එකේ තව දවස් දෙක තුනක් ඉඳළ අඩු වුනාම යමු , එතකොට ඒ ස්ටෝර්ම් එකේ ලස්සනත් බලන්න පුළුවන් නේ , ඕකත් ප්‍රශ්නයක් ද ?‘‘

“ඔය දවසට ටෙම්පරේචර් එක -40 විතර යාවි , අපේ වෑන් එක කැඩුනොත් මගදි , මොකද වෙන්නේ  ? දන්නවනේ , සමහර වෙලාවට කිලොමීටර් දෙසීයක් විතර යනකම්ම මනුස්ස පුළුටක් නැති පැත්තක් නෝර්ත් එක “
ඒකට නම් ටිකක් කට්ටියම බය වෙලා ,
‘‘ ආ ඒකට බය වෙන්න ඕනද , CAA කාඩ් තියෙන්නේ ඒකට නේ , එයාල වාහනේ අරගෙන හදන තැනකට ගෙනියාවි එතකං අපි තාත්තගේ ට්‍රක් එකේ ඉන්න පුළුවන් , ඊට පස්සෙ අපටත් එයාලත් එක්ක යන්න තියෙන්නේ , සමහර විට අපට තව වැඩිපුර දවසක් ඒ හරියේ නවතින්න තැනක් හොයා ගන්න වේවි , ඒච්චරයි .“ පොඩ්ඩි මේ වගේ අත්දැකීමකට මීට පෙර මුහුණ දුන්නු නිසාම උත්තරයක් ගෙනාවා.

“මේ අම්මගේ පලවෙනි වින්ටර් ඩ්‍රයිවින් එක , මෙච්චර දුරක් , අපි හිතමු මොකක් හරි ට්‍රැෆික් ඇක්සිඩන්ට් එකක් වුනා කියලා “
ඒකට නම් ඔක්කොගෙම මූණූ මැළවුනා ,
“වෙන්න පුළුවන් දෙයක් , ඒත් මට ෂුවර් වෙන කවරුහරි ඇවිත් හැප්පුවෙ නැතොත් මට පුළුවන් වේවි ඔය ගමන එන්න “ මනෝජ ලොකු විශ්වාසෙකින් ,
“අනෙක තාත්ත යන්න ඉස්සර වෙලා , ඒක ලොකු ට්‍රක් එකක් නේ , අපි එන්නම් ඊට පිටි පස්සෙන් , කවර් වෙලා , එතකොට රිස්ක් එක අඩුයි නේ “ ලොකු එකතු කළා තවත් ,

ඔය විදියට එදා රෑ මැදියම වෙනකම් වෙන්න පුළුවන් දේ සහ ඊට ගන්න ඕන උත්තර හොයා බැළුව, මුලින්ම කට්ටිය ටිකක් නුරුස්සන විදියට උත්තර දුන්නත් පස්සේ පස්සේ කාටත් තේරුනා මේකේ වැදගත් කම.

කොහොමින් කොහොම හරි දෙසැම්බර් විසි දෙවනදා , හරියටම මගේ උපන් දිනයදා උදේ පාන්දර තුනට මිසිසාගාවේ නිවසින් අපේ වාහන වලට ඇතුළු වුනා , මමත් ලොක්කිත් Uhaul  Truck එකේ , බඩුමුට්ටුවලට අමතරව කෑම බීම බෙහෙත් ජාති , කැමරා ,  ඒවට අමතරව වාහන දෙක අතරේ සම්බන්ධය පවත්ව ගන්නට වෝකි ටෝකි පද්ධතියක් ( මොකද කැනඩාවේ සමහර ප්‍රෙද්ශ වල කිසිම ජංගම දුරකථන සබදතාවක් නැති ප්‍රෙද්ශ තිබෙනවා ,විශේෂයෙන්ම ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගයේදි) . පොඩ්ඩිත් අම්මත් වෑන් එකේ .
මේ move වෙන්නෙ කද බැඳගෙන (මේ අපි නම් නොවෙයි :D ) 
අර මුලින් කී අවදානම් වලින් කිහිපයක් දැනටමත් , මොකද පහුගිය දවස් ටිකේම ගෙවල් අස්කරලානිදි මරලා මමත් ලොක්කිත් දෙන්නම ලෙඩ වෙලා , කැස්සත් උණත් එක්ක. ඒ අස්සේ වෙන පැත්තකට යන්න ගිය ස්නෝ සටෝර්ම් එකක් අපි යන පාර පැත්තට ළගා වෙන බවක් දැන ගන්නට ලැබූනා , විවාහයෙන් පස්සේ අපි උපන් දිනයන් දෙකක් මහ මගම ගත කරන්නට තීරණය  කළා අප ( මගේ දෙසැම්බර් 22දා සහ මනෝජගේ දෙසැම්බර් 24දා , ) කෙසේ වෙතත් අපි ඇරඹුවා අපේ ගමන ,

දවස් තුනකට  සැලසුම් කළත් පැවති කාළගුණයෙන් ලැබුණු ගැහැට නිසා වෙන් තවත් අමතර දවසක් වැය කරමින් හතර වෙනි දවසේ අපි අපේ ගමණාන්තයට ලඟා වුනා , වෙහෙසයි , නමුත් පුදුම සතුටක්  , බඩු මුට්ටු වාහන  ඇතුලෙම තියෙත්දි ගෙට ඇතුළු වුනා , මතක එච්චරයි , ඊට පස්සෙන්දා උදේ දහය විතර වෙනකම් “සැපට “ නිදි .

ඒ ගමනෙත් අවුරුද්දක් ගත වෙන අද ආපහු හැරිල බලත්දි දැනෙන්නේ පුදුම සතුටක්, අද අපි කළබලයෙන් තොර බොහොම නිදහස් “ගමක‘‘ අපේ පරණ රටාවෙම “ගැමි ජීවිතේ“ ගත කරනවා . පහුගිය කාළෙ එහා ගෙදර හිටියේ කවුද කියලවත් නොදන්න තරමට කොටු වුනු ගතියක් දැනුනත් , අද නම් මුළු ගමම අපේ , හිනා පිරිණු මුහුණූ , හිතවත් කම් , බෙදා හදා ගැනීම් පිරිච්ච සරළ මිනිසුන් ඉන්න ‘‘ගමක“ නිදහසේ හුස්ම ගන්නට ලැබුණූ එක ගැන  සතුටක් දැනෙනවා.
අප ආ ගමනේ මිනිත්තු කිහිපයක් 


...................................................................


දැන් මාතෘකා වුනු කාරණේ ගැන කෙටියෙන් ,

මේ කතාව  ඔස්සේ  එන්න වුනු Pre Mortem method of risk assessment  කියන්නේ මොකක්ද?

මේ සැලසුමේදි සිදු කෙරෙන්නේ අප ආරම්භ  කළ , කරන්නට යන අවත් ව්‍යාපාරය , ව්‍යාපෘතිය නැත්නම් මේ වගේ සුවිශේෂී වැදගත්  තීරණයක් පිළිබඳ අවදානම පිළිබඳ “පෙර විමසුමක්“ සහ එම අවදානම් වලට සූදානම් වීමක් .

පළමු පියවර : මේ කරන්න හදන Pre mortem එක ගැන කණ්ඩායමට තේරුම් කරල දෙන්න ( පිළිවෙලකට කරනවනම් මේ තමයි පළමු පියවර)

දෙවැන්න : අවශ්‍ය උපකරණ සුදානම් කර දෙන්න , පරිණකයක් , ලිපි ගොනු , සටහනත් තබා ගන්නට පොත් පෑන් අාදිය

තෙවැන්න : ඔබේ ව්‍යාපෘතිය අපේකෂීත අරමුණු වලට ළඟා නොවී , පාඩු ලබන , නැතිවෙන්නට යන තත්ත්වයක් ඇති බවට කතාවක්  ගොතන්න , එලෙස බිඳ වැටීමක් විය හැකි හේතු මොනවා විය හැකි දැයි විමසන්න , ඒ සියල්ල සටහන් තබා ගන්න ,

සිව්වැන්න : දැන් ඒ බිඳවැටීමට විය හැකි හේතු ලෙස හඳුනාගත් අවදානම් සාධක සියල්ල ප්‍රමුඛත්වය අනුව පිළීවෙලකට ගන්න , වඩාත් යථාර්ථ හේතු සාධක මුලටත් සම්භාවිතාව  ඉතා අඩු සාධක පහලටත් , උදාහරණයක් ඔබේ ව්‍යාපාරය ගංවතුරක් නිසා සම්පුර්ණයෙන්ම විනාශවන්නට පුළුවන් ආසන්නයේ ගඟක් ඇත්නම් , නමුත් පිටලෝකයකින් පැමිණි පිරිසක් ව්‍යාපාරය විනාශ කර දැමීම වගේ දෙයක් ලිස්ට් එකේ අන්තිමට දාගන්න පුළුවන් .

පස්වැන්න :දැන් මේ ලැයිස්තුවෙන් එකිනෙක් එක කාරණා අරගෙන එම අවදානම් අඩු කරගැනීමට , නැත්නම් විය හැකි අවදානම පියවා ගැනීමට ගත යුතු පියවරයන් පිළිබඳ සාකච්ඡා කර අදාල කටයුතු සූදානම් කරගන්න .

මේ සියළු පියවරයන් නිවැරදිව ක්‍රියාත්මක කළා නම් ඔබේ ව්‍යාපාරය , ව්‍යාපෘතියට ඉදිරියේදි විය හැකි අවදානම් මගහරවා ගන්නටත් , මග නොහැරවිය හැකි අවදානම් වලදි සිදුවන පාඩුව අවම කරගන්නටත් , ඒ සියල්ලට දැනුවත් සූදානමක් ඇති කරගන්නටත් පුළුවන් වේවි.


එසේ නම් අද කතාව නිමා කරන්නම් , ඒත් මගේ කතාව තවත් කයිවාරුවකට වඩා මෙවන් රට වල ඉන්නා අප මුහුණූ දෙන එක්තරා දුෂ්කර අවස්ථාවක් ගැන කතාවක් ලෙස වටහා ගන්නට ඔබට හැකි වේවි . ඒ කෙසේ වෙතත් පූර්ව මෘත අවදානම් තක්සේරුව ගැන පොඩි හරි දෙයක් “ඔළුවට දා ගන්න “ ඇතැයි සිතනවා. නැවත ලිපියකින් හමුවන තුරු සමුගන්නම් , සුව සතුට පිරි දිනයක් ඔබට සැමට!


...............................................................

පසුව ලියමි : මෙම ලිපියේ පටන් හැම දිනකම සොඳුරු සුව අසපුවට යම් කරුණක් පිළිබද කෙටියෙන් හෝ ලිපියක් එක් කරන්නට සිත තබාගත්තා , බොහෝ විට එය විනාඩි පහකින් විතර ලියැවෙන කෙටි ලිපියක් වෙන්න පුළුවන් , ලෙඩ රෝග , වලකින හැටි ඖෂධයක් ගැන දැන ගත යුතු දෙයක් නැත්නම් ජීවිතයට වැදගත් කිසියම් හෝකරුණක් වෙන්නත් පුළුවන් . මෙ සියල්ලටම ඔබේ පැමිණීම , ඔබේ අදහස් හුඟක් වටිනවා , ක් නිසාද යත් බ්ලොග් සටහනක් ලියන්නට අවශ්‍ය උත්ප්‍රේරණය ලැබෙන්නේ මුදලින්  නොවී , සහෘද හෘදයාංගම බවින් වන  නිසා .

9 comments:

  1. ඔබගේ ධණාත්මක සරු අදහස් අගය කරනවා.ඉඩ ලැබෙන විදියට ලියන්න.කෙටි ලිපි වුවත් අපිට බොහෝ වැදගත් වන බව දන්නවා.සුභ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි , ඔව් අද පටන් හැමදාම කෙටි ලිපි පළකරන්නත් , ඉඩක් ලැබෙන විදියට “මාගල්“ වගේ දිග ලිපි අතුරන්නත් හිතාගෙන ඉන්නවා .
      ඔබටත් සුව සතුට පිරි සුව නව වසරක් වේවා !

      Delete
  2. ගොඩක් ස්තූතී. ඉතාම හරවත් ලිපියක්.
    අම්මෝ වින්ටර් එකේ ඔය වගේ දෙයක් කරන්න හදද්දී මොන යාලුවද එපා නොකියා ඉන්නේ. පාඩම ඉදිරි ජීවිතේදි අපිට ඕනේ වෙයි. ස්තූති. ඔයා කියලා තියෙන විදියට නිතරම පුන්චි ලිපියක් හෝ ලියාදාන්න

    ReplyDelete
    Replies
    1. සතුටුයි මෙවන් අත්දැකීමක් බෙදා ගන්නට එක්වීම ගැනම , ඔව් අවත් අවුරුද්දේ හිතේ තබා ගත් එක අපේක්ෂාවක් එය , කාලයත් එක්ක තරඟ කරමින් උත්සාහ කරනවා කෙසේ හෝ ඒ උත්සාහයත් සාර්ථක කරන්නට , ස්තුතියි ඔබේ අදහසට සහ සහ සහෘද බව වෙනුවෙන්.

      Delete
  3. ලිපියේ දෙවනි කොටස, ඒ කියන්නේ, Pre Mortem method of risk assessment ගැන වෙනම බලන්නම්.

    ගමන ගමන, මට ඕනේ ගමනේ විස්තර. තව එක ලිපියක්වත් ලියන්න ගමනේ විස්තර.

    ඒයි..........අර වීඩියෝ එකේ තියන විදිහට ඉර කපාගෙන නේද එළවන්නේ? RHD ද LHD ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක මහත්මයා , දෙවැනි කොටසේ තමයි “ජාතක කතාව “ තියෙන්නෙ මුලින් තිබුණේ තොරණේ විස්තරේ :D ,
      ගමන ගැන නම් ලියන්න “රස මුසු තැන් “ බෝමයි ( ඒ එක්කම හිතට දුක හිතුනතැනුත්) ලියන්නම් ටික ටික ඉදිරි ලිපි වල දි ,
      මොන ඉරිදි විචාරක මහත්තයෝ , ඩ්‍රයිවින් නම් LHD තමා , තව අඟල් දෙකක් විතර දකුනට ඇල්ලුවොත් දකුණූ පැත්තේ රෝද දෙක යන්නෙ අඟල් දෙක තුනක බ්ලැක් අයිස් තට්ටුවක් උඩ , පොඩියට හරි බ්රේක් එක පෑගුනොත් නරක විදියට වට රවුම් ගහල පල්ලමට ගිහින් “හීතලේ නිදා ගන්න තමා වෙන්නේ“ , ඒ නිසා හුඟක් වෙලාවට මැද ලයින් එකත් එක්ක තමා යන්නේ , කොහොමත් පාර ඒ තරම්ම බිසි නැහැ මේ හරියේ , ආවොත් එන්නෙ රෝද 18-20ක් තියෙන ට්‍රේලර් එකක් , එයාලනං යන්නෙ එරොප්ලේන් වේගෙන් ,
      ස්තුතිය ඔබේ සහෘද බවට , අදහසට

      Delete
  4. මරු ගමනක් වගේ සහයකයා කෙලින් ඉන්නවා නම් තමා ඔච්චර දුරක් එලවන්න ලේසි,කෙලී වැඩේ හරියට කරලා තියනවා

    ReplyDelete
    Replies
    1. ආයෙත් කියලා , ඒක නම් සම්පුර්ණ ඇත්ත දවස් හතරෙම සෑහෙන වෙලාවක් කෙළි අවදියෙන්මයි .
      ස්තුතියි මිතුර , සුබ නව වසරක් !

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)