2016/01/18

187) රන් කිරට මුසුවන වස

ඊයේ දවසේ මේ පළාතේ උශ්නත්වය , සෙල්සියස් සෘණ 43 දක්වා පහල ගියා . අවදානම් දිනයක් , නමුත් පුදුම ලස්සන දවසක් . වළාකුලක්වත් නැති අහසේ තද දීප්තියට පායල තිබුණු හිරු එළීය දකිත්දි ගෙට වෙලා ඉන්නෙ කෝමැයි . “අවදානම් සහිත“ දිනයක් ලෙස බලධාරින් විසින් නම් කරල තිබුණත් , මේ ඉරිදාව නිකං නාස්තිකරන්න බැහැ.

පවුලේ කට්ටිය දාගෙන රිය පැදෙව්වා Hershel කියන පළාතට . ඩයිනෝසර්ල(Dolichorhynchops herschelensis)  හිටි ප්‍රදේශයක් ලෙසින් හඳුනගෙන තිබෙන මේ කඳුවැටි මායිම හරිම ලස්සනයි. හැබැයි දරන්න බැරි සීතලයි . ලස්සනේ බැහැ ඒත් මෙහෙම ඉන්නයැ , බැස්ස කට්ටියම , වටේ ටිකක් ඇවිද්ද, කම්මුල් පිච්චෙන සීතලක් . විනාඩි දහයකට වඩා එළියේ ඉන්න නැතිව ඇති. ආයෙත් ඔක්කොමල නංවගෙන කඳු වටේ අරන් ගිහින් ගෙදර එත්දි හවස් වෙලා . ගෙදර ඇවිත් බලත්දි හැමෝගෙම කම්මුල් , තොල් පිච්චිලා .
එදා ඩයිනෝසර්ලගේ ගමේ අද 
“හරියට සීටී දීලා ඇවිත් වගේනේ කට්ටිය “ වේදනාවත් එක්ක හිනා වුනා හැමෝම .මොකද මේ හැමෝම ඒ “දුක සැපට “ විඳල තියෙන නිසා.


මොකක්ද මේ “සීටී දීලා වගේ කියන්නෙ“ ? ඒ ගැන මෙහෙම කියන්නම්කෝ 

අවුරුද්ද දෙදහස් දෙක , ඒකකය කරාපිටිය රෝහලේ පිළිකා ඒකකය , ඒ දවස් වල පිළිකා ඖෂධ සැකසීම , ලබා දීම කරන්නේ (Cytotoxic  preparation &a Administration ) හෙද නිලධාරින් වුනු අපමයි . කිසිම ආරක්ෂක උපකරණයක් (අද තිබෙන විදියේ ආරක්ෂක මුව වැසුම් , ආරක්ෂක කුටීර ) තිබුණේ නැහැ . තිබුණේ නිකං රබර් ග්ලවුස් විතරයි .  සායනයේ සහ වාට්ටු තුල ඉන්න රෝගීන්ගෙන් රෝගීන් හතලිකට විතර පිළීකානාශක (සීටී දෙන එක)  ඖෂධ දේහ ගත කරන ( Cytotoxic / Chemotherapy drugs) කටයුත්ත ලේසි පහසු දෙයක් නෙවි.මොකද ඒ කටයුත්තෙදි අප ඉතාම ප්‍රබල ඖෂධ තිහ හතලිකට නිරාවරණය වෙනවා (මෙහෙම හිතමු එක  රෝගියෙක්ට ඖෂධ හතර ගණනේ සැකසුවත් දවස අවසන් වෙත්දි ඖෂධ එකසිය පනහක් විතර සැකසුම් කරළා) . ඒ නිසාම සෑහෙන මාත්‍රාවක් පෙනහළු , සහ ඔස්සෙ අපේ  දේහයටත් ඇතුළු වෙනව. පෙනහළු , තොල් , ඇස් පසාරු කරගෙන යන ඒ ප්‍රබල ඖෂධ වල ශක්තිය කොතරම්ද කීවොත් , ඒ දවසට ගෙදර එත්දි පණ නැති තරම් .කට තොල් කම්මුල් පිච්චෙන දැවිල්ලක් , ඇස් රතු වෙලා ඉදිමිලා .

එදා මේ ආරක්ෂක උපක්‍රම තිබුනේ නැහැ
ඒ අපහසුව වින්දේ අප දෙදෙනා (මමත් බිරිඳත් දෙදෙනාම සේවය කළේ මෙම ඒකකයේ)  විතරක්ම නෙවි , එදා අපත් එක්ක පිළීකා ඒකකයේ  සේවය කළ හැම හෙද නිලධාරියෙක්ම මේ “දුක“ සැපට වින්දා.  ඒ විතරක් නොවෙයි , එදා කිරි දෙන මවුුවරුන් විදියට  හිටි හෙද නිළධාරිනියන්( මනෝජත් එක් අයෙක්) ගේ කිරි බොන දරුවනුත් මේ ඖෂධ නිසාවෙන් අපහසුතාවලට පත්වුනා. කෙසේද කිව්වොත් , අදාල රාජකාරියෙන් පස්සෙ නිවසට විත් තම දරුවන්ට කිරි දුන්නට පසුව , ඒ පැටවුන්ගෙ තොල් , සම මත තුවාල ඇති කරවන්නට තරම් මේ ඖෂධවල ශක්තිය රැඳීල තිබුණා. ඒ දුෂ්කරතා විඳි පැටවුන් අතර අපේ ලොකු  කෙළී එක් අයෙක් . (නීතියේ හැටියට ගර්භනී හෝ කිරි දෙන මවුවරුන් ලෙස ඉන්න හෙද නිලධාරිනියන් මෙම පිළිකානාශක ඖෂධ සැකසීම සහ දෙහ ගත කිරීමේ කටයුත්තෙන් නිදහස් කළ යුතු වුනත් , එදා එලෙස නිදහස් වන්නට අවස්ථාවක් ලැබුණෙ නැහැ)

මේ මොන දුක වින්දත් , ලංකාවේ රාජකාරි කළ , කාළය තුල වඩාත්ම සතුටින් සේවා කළේ මේ පිළිකා ඒකකයේමයි. එදා අපි හැමෝගෙම “මහ ගෙදර “ වෙලා තිබුණේ “පිළීකා ඒකකය“ .

මේ කතාබහ ඔස්සෙ අද ලියන්නට පෝස්ට් එකට මාතෘකාව දුන්නේ අර සීටී දීලා ඇවිත් කිරි දුන්නට පස්සේ , දරුවන්ගේ සිදුවුනු වෙනස්කම් අනුව යමින් කිරි දෙන අවස්ථාවේ සිටින මවක් තම දරුවාට කිරි ලබා නොදිය යුතු තත්ත්වයන්  කිහිපයක් ගැන ටිකක් කතා කරන්නයි හිතුවේ .

මෙන්න මේ තත්ත්ව වලදී තම දරුවාට කිරි දෙන්නට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයි ,  මොනවද මේ අවස්ථාවන් ‍,

  • මව පිළිකානාශක ඖෂධ ලබා ගන්නවා නම් 
    • සමහර පිළිකානාශක ඖෂධ මව්කිරි ඔස්සෙ දරුවා වෙත ගමන් කිරීමේ අවදානමක් පවතින නිසා කිරි ලබා නොදීම හෝ තාවකාළිකව නතර කළ යුතු වෙනවා. 
  • මව විකිරණ ප්‍රතිකාර ලබනවා නම් ,
    • මේ තත්ත්වයක් තාවකාළිකව හෝ කිරි දීම නතර කළ යුතු අවස්ථාවක් ලෙසයි ගැනෙන්නේ.
  • මව , ප්‍රතිකාර නොලබන ක්ෂය රෝගයෙන් පෙළෙනවා නම් , 
  • මව ඒඩ්ස් තත්ත්වයෙන් හෝ HIV ආසාදිත තත්ත්වයෙන් සිටී නම් , දරුවාට මව්කිරි ලබා නොදෙන්නට කටයුතු කරන්නෙ නම් දරුවාට ආරක්ෂාවක්.
    • මේ තත්ත්වය සඳහා අදාල ඖෂධ ගන්නා අවස්ථාව පවා කිරී දීමට නුසුදුසු අවස්ථාවක් බවයි හඳුනාගෙන ඇත්තේ .
  • මව මෙවන්  ඖෂධ ලබා ගන්නේ නම් ,
    • මානසික රෝග සඳහා (උදාහරණයක් , ලිතියම් වැනි ඖෂධ)  
    • නිද්‍රාකාරක ඖෂධ 
    • ඊස්ට්‍රජන් හෝමෝනය අධිකව අඩංගු උපත්පාලන පෙති 
  • සමහර ප්‍රතිජෛවක ඖෂධ 
  • ප්‍රබල වේදනානාශක නිතරම ගන්නවා නම් 
  • තුවාල වලට යොදන අයඩීන් අඩංගු ඖෂධ  දිගුකළක් භාවිත කරන 
මේ කියු තත්ත්ව වල සිටින හෝ ඖෂධ ගන්නා මවක් , හිතුමනාපෙට දරුවාට “කිරි “ දුන්නොත් එය  , දරුවාගේ ජීවිතයට අවදානමක් ලබාදීමක්ම වේවි. ඒ නිසාවෙන් මුලින් කීව වගේ , දරු පැටියට කිරි දෙන්නට ඉස්සර වෙලා , තමන්ගෙ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා  , තමන් ගන්න බෙහෙත් ගැනත් , ලෙඩ රෝග ගැනත් කතා කරළා  , දරුවාට කිරි දිය යුතු අවස්ථාවක සිටිනවා දැයි සැකහැර දැන ගන්න. මොකද “ආදරෙන් ලේ කිරි කරලා පැටියට පොවත්දි , ඒ එක්ක වස මුසු වනවා නම් “ ඒ අවදානම ඔබේම දරු පැටියගේ ජීවිතයටමයි. මේ ලිස්ට් එක විතරක් නොවෙයි , ඔබ කිරි දෙන මවක නම් ඔබ ගන්නා ඕනම  ඖෂධයක් භාවිත කරන්නට පෙර උපදෙස් ලබා ගන්න එක වටිනවා . 

හිතට දැනුන දේ ලියාගෙන ගියා මිසක , ලොකු පසු සැකසීමක් කරන්න ගියේ නැහැ . කෙනක්ට හිතෙන්න පුළුවන් මොනවද මේ ලියන්නෙ කියලා. නමුත් අපේ රටේ රජයේ සෞඛ්‍ය සේවය දිහා පිටින් බලත්දි දැනෙන දේට වඩා දුෂ්කරතා බොහොමයක් ඇතුලේ තියෙන බව හුඟදෙනෙක් දන්නෙ නැහැ.ඒ නොදැනෙන එක අංශයක් ගැනත් පොඩ්ඩක් ලියන්නට හිතුනා මේ ලිපි අතරේ ,  නමුත් තුන් වෙනි ලෝකයේ රටක් විදියට අපේ රටේ නොමිලේ සෞඛ්‍ය සේවා ලබා දීම ගැන පුදුම හිිතෙන්නෙ  , දියුණූ රටවල ලබා දෙන සේවාවත් එක්ක සැසඳුවාමයි. 

නැවත ලිපියකින් හමුවනු තුරු සුව සතුට රැදේවා ඔබ ගත සිත ! 

12 comments:

  1. හොඳ ලිපියක්.
    මව්වරු මේ ගැන දැනගෙන සිටීම අනාගත පරපුර ආරක්ෂා කරගැනීමට වැදගත් වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න , හැමදාමත් මේ පැත්තටත් ඇවිත් දිරි ඔබේ අදහස සටහන් තබනවාට , එය දිරියක් ඊළඟ ලිපියට ,

      Delete
  2. දැනගත්තා යමක්. ස්තුතිය් ඔබට

    ReplyDelete
  3. අනාගතයට වැදගත් ලිපියක්. ඔබතුමා අපේ ප්‍රදේශයෙත් සේවය කරලා තියෙනවා එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , ඔව් මිතුර , ජීවිතේ අවුරුදු දොළහක් විතරම ගෙවුනේ ගාල්ල , කරාපිටිය පැත්තෙම තමා :D

      Delete
  4. වැටුපටත් එහා 'සේවයක්' කැපවීමෙන් කල පසු ලැබෙන සැනසීම ඔබ බුක්තිවිඳිනවා ඇති...
    ජයවේවා...!!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම , ඒ “මිල කරන්න බැරි“ සතුට හැමදාමත් හිතේ තියෙනවා ,ස්තුතියි මිතුර !

      Delete
  5. ස්තුතී ඔබේ අත්දැකීම් මේ විදියට අනිත් අයට දැනගන්න ලියන එක වටිනවා ඒ නිසා ලියන්න දිගටම.. අර විදියට වැඩ කළා කීවම මනෝජ සහ අනෙකුත් හෙද නිලධාරිණියන් ගේ කැපවීම ගැන පුදුම හිතුණා.අම්මෝ මං කල්පනා කලේ -43 කොහොම ඉන්නද.. මට 1-3 අතර සිතලෙත් ඉන්න අමාරුයි එළියේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔමා , ඇත්තෙන්ම ලියන්න , බෙදා ගන්න වටින අත්දැකීම ගොන්නක් ඒ සේවා කාළය තුල ලැබුණා , ටිකෙන් ටික ලියන්නම් . ඔව් ඇත්තෙන්ම සෞඛ්‍ය සේවය තුලදී කලයුතු කැප කිරීම් ඉහළයි. සමහර විට තමන්ගේ ජීවිතය ගැන පවා අවදානම් ගන්න වෙන අවස්ථා තිබුණා .
      -43 අළුත් සුන්දර අත්දැකීමක් වුනා , කවුරුත් එළීයේ ඉන්නෙ නැහැ මේ වගේ දවසට , ඒත් අපට අමාරුයි නොවැ ගෙට වෙලා ඉන්න මේවගේ දවසටම :D

      Delete
  6. ගිය ඉරිදා -1 තියනකොට එලියට ගියා රෑ, පහු වෙනිදම තොල් පැලිලා,-40 විතර අහු උනා නම් කොහෙ කොහෙ පැලෙයිද දන්නෙ නෑ, කීමෝ මතක් කරන්නත් ආසා නැති දෙයක්,මගේ ලගම නෑයන් 4 කීමෝ එක්ක සෙල්ලම් කලා.1යි දින්නෙ,අනික් අය ජීවිතෙන් පැරදුනා, ලියුකේමියා එක්ක සටන් කරපු මගෙ මල්ලි කෙනෙක් එක්ක මම රෝහලේ රැදුනා,එතකොට තමා කීමෝ ගැන හරියට දැන ගත්තෙ,පැය 48 සරීරගත කරපු අවස්තා තිබුනා,අර මැශින් එක හරහා,කොල්ල පැරදුනා ඒත්.
    ඉතාලියෙ මෑත කීමෝ එකක් දැක්කෙ අතට සවි කරපු පොඩි උපකරනයක් හරහා යවන එකක්,බෙහෙත් එක ඒකට සවි කරලා ගෙදර එවනවා,දවස් දෙකකට පස්සෙ ගියාම තමා ඉවර උනු බෙහෙත් කුප්පිය ඉවත් කලෙ.අර උපකරනය මාස 6 වඩා අතෙ තිබුනා කීමෝ ප්‍රතිකාර ඉවර වෙනකන්ම.
    ස්තූතී අයියෙ ලිපියට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , අපටත් මුලින්ම මයිනස් ටිකක් අමාරු වුනත් දැන්නම් පොඩි ෆන් එකක් තමා. ඔවු දැන් සෙල්ෆ් කොන්ටෝල්ඩ් පෝර්ටබ්ල් ඉන්ෆියුෂන් පම්ප් ඔස්සෙ පිළිකානාශක ඖෂධ ලබා දීම බහුලව කෙරෙනනවා , එය ආරක්ෂිතයි වගේම රෝගියාට අවම අපහසුවක් ගෙනෙනේනේ .

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)